හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා.
2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා.
2014 වසරේ ඔක්තෝබර් 20 වන දා හෝ ආසන්න දිනකදී පොදු දේපොළ පනත යටතට ගැනෙන වැරදි සිදු කර ඇතැයි, පවසමින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, විත්තිකරුවන් කටයුතු කර ඇත්තේ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු පනත යටතේ ඔවුන්ට පැවරී ඇති බලතල අනුව බැවින් මුදල් සාවද්‍ය පරිහරණයක් සිදුව නොමැති බවයි.


Be First to Comment