Press "Enter" to skip to content

“ගුලාබ්” සුළි කුණාටුව උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදට ළඟාවෙයි

ඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

මේ අතර උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ‘ගුලාබ්’ සුළි කුණාටුව මේ වනවිට උතුරු අක්ෂාංශ 18.3 සහ නැගෙනහිර දේශාංශ 87.7 ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

එය අද හවස් කාලයේ ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට ගමන් කරනු ඇති බවට සඳහන්ක.

පසුව ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිස්සා අතර වෙරළ තිරයෙන් එරට ගොඩබිම තුළට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මිට අමතරව උතුරු අක්ෂාංශ 15.0 සහ 20.0,නැගෙනහිර දේශාංශ 80.0 සහ 90.0 මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද දැනුම් දී තිබෙනවා.

දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසද අවවාද කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. (colombotimes.lk)

Viber