Press "Enter" to skip to content

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමරිකාව බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙන බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා ඊයේ (18) පස්වරු 2.30 වන විට නිව්යෝර්ක්හි ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළට ළඟා වී තිබෙනවා.

මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට (20) ආරම්භ වීමට නියමිතයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වන අඟහරුවාදා ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත අතර සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේ සහ 24 වනදා පැවැත්වෙන බලශක්ති පිලිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමට අපේක්ෂාවෙන් සිටිනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිනවා.

එමෙන්ම ජනපතිවරයා සමඟ තිදෙනෙක් පමණක් යාම, මෙරට ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වන අඩුම දුත පිරිස ලෙස වාර්තා වනවා.(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »