Press "Enter" to skip to content

චමීර සහ වනිඳු අද IPL තරග බිමේ – කෝලිගෙන් අන්දෝලනාත්මක තීරණයක්

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අද මුල්වරට තරඟ බිමට පිවිසෙනවා.

ඔවුන් දෙදෙනාම අද තරඟය සඳහා සහභාගි වන සංචිතයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වනිඳු හසරංගට සහ දුෂ්මන්තට චමීර IPL තරඟාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමිවූයේ ඉන්දීය පිල සමඟ පැවති තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව අද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 07.30 ට අබුඩාබිහිදී එය ආරම්භ වනවා.

කොරෝනා තත්වය හමුවේ කල් දමා නැවත ආරම්භ කෙරුණු IPL දෙවන අදියරේ පළමු තරගයේ ජය හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

එහිදී චෙන්නායි කණ්ඩායමට හිමි වූයේ ළකුණු 20 ක ජයක්.

මේ අතර මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිමා වීමෙන් පසුව රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාත් කෝලි තීරණය කර තිබෙනවා.

රෝයල් චැලේන්ජස් බැංගලෝර් සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු විරාත් කෝලි ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකකත්වයෙන් ඉවත් වීමටද මේ වන විට තීරණය කර තිබෙනවා.