Press "Enter" to skip to content

“පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව කැප වෙනවා” – ජී.එල්. පීරිස්

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව කැපවී සිටින බව නිව්යෝර්ක් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය සමඟ පැවති හමුවකදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා යළි තහවුරු කර තිබෙනවා.

මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්ම, මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිහිපත් කර තිබෙනවා.

එමෙන්ම වාණිජ, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ තවදුරටත් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.

කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේදී සාර්ථක වී ඇති ශ්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තිය සඳහා නායකත්වය දෙමින් නැඟී සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආහාර සුරක්‍ෂිතතාවයෙන් යුත් කෘෂිකාර්මික නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් මෑතකදී “දේශගුණය සහ හරිත ආර්ථිකය” සඳහා මුලපිරූ බව ඔහු පවසා තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලය යනු එහි සියලුම සාමාජික රටවල් විසින් පොදු අරමුණක් භුක්ති විඳින, එය සුවිශේෂී හා ප්‍රබෝධමත් කරවන විවිධත්වය පිළිබඳ සැමරුමක් වන බව විදේශ අමාත්‍යවරයා කියා සිටියා.

එහි සියලුම සාමාජිකයින් සඳහා පොදු නීතිමය පසුබිමක වාසියක් ඇතත්, ඔවුන් සංවර්ධනයේ විවිධ මාවත් අනුගමනය කර තිබෙන බවත් සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දේශීය ආයතන ගෙන ඇති පියවර පිළිබඳවත් විදේශ අමාත්‍යවරයා මහලේකම් ස්කොට්ලන්ඩ් මැතිනිය දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ස්ථාපිත කිරීමට උත්සාහ දරන තාවකාලික යාන්ත්‍රණය පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාර්ථවලට අනුකූල නොවන බවත් එය ලංකාවට පිළිගත නොහැකි බවත් එහිදී පවසා තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය පැවසුවේ වෙළඳාම, ක්‍රීඩා කටයුතු, තරුණයින් සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කිරීම ඇතුළු පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලය අගය කරන බවයි.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 54 න් එකක් වන අතර, 2013 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ලබාදුන් රටක්ද වීම විශේෂත්වයක් වනවා. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »