Press "Enter" to skip to content

මුහුද රළුවේ, ධීවර සහ නාවුක ප්‍රජාවට සැලකිලිමත් වන්නයි දැනුම්දීමක්

උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින “ගුලාබ්” සුළි කුණාටුව දේශාංශ 87.9 ආසන්නයේ ස්ථානගතව පවතින අතර අද(26) හවස් වන විට ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිස්සා අතර වෙරළ තීරයෙන් ගොඩබිම තුළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

උතුරු අක්ෂාංශ 15.0 සහ 20.0, නැගෙනහිර දේශාංශ 80.0 සහ 90.0 මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසද ඔවුන් අවවාද කර සිටිනවා.

මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවත් පවසනවා.

එම ප්‍රදේශයන්හි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇති විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිග දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45 පමණ වනවා.

මන්නාරමේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 පමණ දක්වා වැඩි විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ද වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කර සිටිනවා. (colombotimes.lk)

Viber