Press "Enter" to skip to content

ජනපතිවරයා සහ ජගත් මහ ලේකම් අතර හමුවේදී සිදුවුණ දේ

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසා තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනමා තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග පැවසීය.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පැවසුවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මැතිතුමා විසින් පැහැදිළි කළා.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රි ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරීක්ෂාකාරී විය යුතු බව සඳහන් කළා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »