27 September 2022
සිංහල | English

කැරම් ලෝක ශුරතාවලියට ශ්‍රී ලංකාවෙන් 08 ක් එක්වෙයි



මැලේසියාවේදී ආරම්භ වන අටවැනි ලෝක කැරම් ශූරතාවලිය සඳහා ලෝක කැරම් ශූර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. 

 
ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් සිව්දෙනකු බැගින් ඇතුළත් මෙවර කණ්ඩායමට ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ නුගේගොඩ මහමායා බාලිකාවේ 19 හැවිරිදි තශ්මිලා කාවින්දි පළමුවරට ඇතුළත් වීම කැපී පෙනෙනවා. 
 
ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සුරාජ් මධුවන්ත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් උදේශ් චන්දිම පෙරේරා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ෂහීඩ් හිල්මි පිරිමි කණ්ඩායමට ඇතුළත් වන අතර, කාන්තා කණ්ඩායමට ප්‍රවීණ ක්‍රීඩිකා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝෂප් රොසිටා සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙබෙකා ඩැල්රින් සහ මධුවන්ති ගුණදාස ඇතුළත් වනවා. 
 
කණ්ඩායමේ කළමනාකරු ලෙස ලැන්ග්ලි මතායස් මහතා කටයුතු කරනවා. 
 
ලබන ඔක්තෝබර් මස 03 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර කැරම් ලෝක ශූරතාවලියට රටවල් 17කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250කට ආසන්න සංඛ්‍යාවක් එක්වීමට නියමිතයි. 
 
ලෝක කැරම් ක්‍රීඩාවේ ප්‍රබලතම රටවල් වන ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක් ඊට ඇතුළත් වනවා.
(colombotimes.lk)