22 November 2024


ප්‍රේක්ෂකයින් එයිද? නොඑයිද? - ඉන්දු ශ්‍රී ලංකා එක්දින සටනේ නොදත් කතා මෙන්න



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අද (02) ආරම්භ වනවා.

ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමු එක්දින තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින තරග 127කට ක්‍රීඩා කර ඇති අතර තරග 78ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින තරග 50කට සහභාගී වී ඇති අතර ඉන් තරග 26ක් ජය ගැනීමට ඔවුන් සමත් වුණා.

එමෙන්ම මීට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරග 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 16ක ජය ශ්‍රී ලංකා කණ්ඩායමත් තරග 19ක ජය ඉන්දීය කණ්ඩායමත් සතු වී තිබෙනවා.

මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම අංක එකේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වී ඇත්තේ 07 වන ස්ථානයයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ තරග 2ක් හෝ ජයග්‍රහණය කළහොත් එම ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට අවස්ථාව හිමි වනවා.

මීට පෙර ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලි 20ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරගාවලි 2ක් පමණයි.

තරගාවලි 15ක් ඉන්දීය කණ්ඩායම ජයගත් අතර තරගාවලි 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් අවසන්වරට දිනා ගත්තේ මීට වසර 27කට පෙරදීයි.

එමෙන්ම මීට පෙර ඉන්දියාව සහ  ශ්‍රී ලංකාව අතර එක්දින තරග 168ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 99ක ජය ඉන්දීය කණ්ඩායම සතුවද්දී ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග 57ක් පමණයි.

තරග 12ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබෙනවා.

අද පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගයේදී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ චරිත් අසලංකටයි.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මා දරනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරගාවලියට සහභාගී වන්නේ සිය ප්‍රබලතම වේග පන්දුයවන්නන් 6 දෙනෙක් නොමැති අවස්ථාවකයි.

(colombotimes.lk)