02 April 2025

INTERNATIONAL
POLITICAL


පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්



අද (07) සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව ද සඳහන්.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)