07 July 2025

logo

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 පමණ තරමක තද වැසි



නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

උතුරු පළාතේත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එහි සඳහන්. 
 
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. 
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)