02 April 2025

INTERNATIONAL
POLITICAL


අද ප්‍රදේශ කිහිපයකට වැසි



නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අනුරාධපුර, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන්.

මේ අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)