22 November 2024


ප්‍රධාන ජලාශ 50 කට ආසන්න සංඛ්‍යාවක් වාන් දමයි



ප්‍රධාන ජලාශ 50 කට ආසන්න සංඛ්‍යාවක් වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවද 80% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ. 
 
මේ අතර, මල්වතු ඔය භාවිතයේදී විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. 
 
ඒ මල්වතු ඔය පහළ ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන්. 
 
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර මහතා පැවසුවේ නිල්වලා ගඟ පහළ ප්‍රදේශවල ගංවතුර අවදානම ද තවදුරටත් බලාත්මක බවයි. 
 
මේ අතර, අධික වැසි සමඟ දිස්ත්‍රික්ක 11කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 
 
බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට අයත් වනවා.
(colombotimes.lk)