22 November 2024


කාලගුණය නැවතත් උඩු යටිකුරු වෙයි



දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08) දින සිට ඉදිරි දින  කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවද එම නිවේදනයේ වැඩිදුරත් දැක්වෙනවා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)