colombotimes.lk
සිංහල | English

17 September 2024


මෙරට කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහය



ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනිය වන ෂෙයික් හසීනා ප්‍රකාශ කළා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනිය අතර ඇති වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවකදීයි.

බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන  කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අධ්‍යයනය කොට එහි අත්දැකීම් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංග්ලාදේශයට යැවීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී එකඟතාවය පළ කළා.

බංග්ලාදේශ අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සහ බංග්ලාදේශ දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියා.
(colombotimes.lk)