colombotimes.lk
සිංහල | English

04 May 2024

BLOG | කිසිදා අමතක නොවන ඒ අඳුරු දිනයට අදට වසර 5ක්



අද 2024. 04. 21 පාස්කු ඉරිදා දිනය. මීට අවුරුදු 5 කට කළින් අද වගේම දවසක් ආවා. ඒ 2019. 04. 21 පාස්කු ඉරිදා දිනය. එදා කවුරුත් හිතන්න නැතුව ඇති මේ දවස කිසිදාක අමතක නොවන අඳුරු දිනයක් බවට වෙයි කියලා.

එදා කතෝලික බැතිමතුන්ට විශේෂ දිනයක්. සෑම ක්‍රිස්තියානි පල්ලියකම පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වුණා.  කොච්චිකඩේ ශා. අන්තෝනි දේවස්ථානය, මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානයෙත් අනිත් දේවස්ථානවල වගේම පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වුණා.


නමුත් එදා ඒ දේවස්ථානවලට ගිය කිසිවෙක් හිතුවේ නැතුව ඇති අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනය අඳුරු මතක ගොන්නක් සැඟවුණු දිනයක් බවට පත් වෙයි කියලා.

ඒ වගේම එදා රටේ වාණිජ අගනගරය වන කොළඹ පිහිටි ෂැන්ග්‍රි-ලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, ද කින්ග්ස්බරි හෝටලය සහ ද ට්‍රොපිකල් ඉන් හෝටලයේ ද නිවාඩු දවසේ පවුලේ අය සමඟ සතුටින් ගත කරන්න බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. එදා එහෙම සතුටින් හිටිය කවුරුත් හිතන්න නැතුව ඇති අද දවස අඳුරෙන් පිරි දවසක් බවට පත් වෙයි කියලා.


2019. 04. 21 පෙරවරු 8:25ට කොච්චිකඩේ ශා. අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වනවා. ඒ සමඟම පෙරවරු 8:45ට මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානයේ සහ පෙරවරු 9:05ට මඩකලපුව සියොන් දේවස්ථානයෙත් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු වෙනවා.


ඒ වගේම තමයි පෙරවරු 9:15 – 9:20 කාලය ඇතුළත ෂැන්ග්‍රි-ලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ ද කින්ග්ස්බරි හෝටලය කියන තරු පන්තියේ හොටල්වලටත් මෙම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා.

එතනින් නොනැවතුණු ත්‍රස්තවාදීන් පස්වරු 2:00ට දෙහිවල ද ට්‍රොපිකල් ඉන් හෝටලයට සහ පස්වරු 2:15ට දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා.

මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් බෝම්බකරුවන් 8 දෙනා සහ විදේශිකයන් ඇතුළුව පුද්ගලයින් 269 කට වැඩි පිරිසකගේ ජීවිත සුනු විසුණු කර දැමුවා. ඒ වගේම 500 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. වසර 5ක් ගත වුණත් මේ ප්‍රහාරයේ බලපෑම් හේතුවෙන් අදටත් විඳවන ජීවිත බොහෝයි.


කිසිවෙක් නොසිතූ අයුරින් සිදු කළ මෙම ප්‍රහාරය නිසා දරුවන්ට තම දෙමව්පියන් අහිමි වුණා. දෙමව්පියන්ට තම දරුවන් අහිමි වුණා. සහෝදර සහෝදරියෝ අහිමි වුණා. අසල්වැසියෝ අහිමි වුණා.


2019 අප්‍රේල් 21 වනදා වහපු ගෙවල්වල ගේට්ටු අදටත් එලෙසම පවතිනවා. වසර 5ක් ගත වුණත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වරදකරුවන් සොයා ගැනීමට අපොහොසත් වෙලා. මෙවන් විපතක් යළි කිසිදු දිනෙක අසන්නට, දකින්නට නොලැබේවා.


මිය ගිය සෑම ආත්මයක්ම සමාදානයේ සැතපේවා!

(colombotimes.lk)