BLOG | ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදයි



'මිහිතලයට ජනමාධ්‍ය - පාරිසරික අර්බුද හමුවේ මාධ්‍යකරණය' යන්න මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 දී මාධ්‍ය නිදහස සැමරීමේ දිනය ප්‍ර‍කාශයට පත් කළ අතර මෙවර සමරනු ලබන්නේ එහි 31 වැනි දිනයයි. ඒ අනුව 1986 වසරේ දෙසැම්බර් 17 වන දා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිට දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන් කර තිබෙනවා.



මාධ්‍ය නිදහස යන්නෙන් හඳුන්වනු ලබන්නේ ජනතාව වෙත තොරතුරු, ප්‍රවෘත්ති සහ දැනුම රැගෙනයාමට ජන මාධ්‍යකරුවා සතු අයිතිය මෙන්ම එකී නිවැරදි තොරතුරු ජනගත කිරීමට ඇති හැකියාවයි.

එදිනෙදා ජීවිතයේ ප්‍ර‍වෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදීන් එදා මෙදා තුර මුහුණ දුන් අසීරුතම කාලය දැන් එළඹ ඇති බව ලෝක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මතයයි. දිවි පරදුවට තබා සිරියානු යුද්ධයේ සජීවි වාර්තාකරණයේ යෙදී සිටින ජනමාධ්‍යවේදින් මෙන්ම, ස්වාභාවික ආපදා වාර්තාකරණයේ නිරත බොහෝ වාර්තාකරුවන් මුහුණ දෙන්නේ අතිශය භයානක අනපේක්ෂිත අවස්ථාවන්වලටයි.

What challenges are inte ational reporters facing in 2023? | TV Shows | Al  Jazeera

මාධ්‍ය නිදහස දිනකට හෝ තේමාවකට පමණක් සීමා කර ප්‍රායෝගිකව මාධ්‍යවේදියාගේ තටු සිඳීමේ ක්‍රියාවලිය බොහෝ රටවල නිරන්තරයෙන් සිදු වෙනවා. ඒ අනුව මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය වන අතර දෙවන තැන සිටින්නේ සිරියාවයි. එමෙන්ම ශ්‍රී ලංකාව ද මෑත දශක ගණනාව තුළ ජනාමාධ්‍යයට එල්ල වූ බලපෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකි.

රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන 2022 වසරේදී හිමි වුණේ නොර්වේ රාජ්‍යයටයි. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වුණේ  ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 135 වන ස්ථානයයි. අව් වැසි, වෙඩ් ප්‍රහාර සහ බෝම්බ නොතකා තොරතුරු වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදියා වෙනුවෙන් දින 364ක් පුරාවට එල්ල වන ගල්මුල් වෙනුවට මල් පුදන එකම දිනය ලෙස වෙන් කර ඇත්තේ අද දිනයයි.


(colombotimes.lk)