colombotimes.lk
සිංහල | English

17 September 2024


අද දැඩි උණුසුම් කාලගුණයක්



අද (28) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව සඳහන්.

එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම සිදුවන අතර හිරු අද සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවති බවයි.

අද දහවල් 12:11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව සඳහන්.

මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව ද සඳහන්. 
(Colombotimes.lk)