colombotimes.lk
සිංහල | English

17 September 2024


මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව එල්ල කළ පෙත්සම සලකා බැලීම මේ මස 27වනදා



අධිකරණයට අපහාස කළා යැයි චෝදනා කරමින් හිටපු ජනාපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඊට අදාළ පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍ර ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මස අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි.

එම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට පවසා සිටියේ තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි.

ඔහු සභාපති ධූරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් සිදු නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් අපහාසයක් සිදු කර නොමැති බවත් ජනාධිපති නීතිඥ පෙන්වා දුන්නා.

මෙම පෙත්සම සලකා බැලීම මේ මස 27වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)