colombotimes.lk
සිංහල | English

18 May 2024

Chef Ceylon | දකුණට ආවේනික රසවත් කෑමක් හදමු



මාළු ඇඹුල්තියල් කියන්නේ දකුණට ආවේනික රසවත් කෑමක්. මේ ඇඹුල්තියල් ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් අතරත් ඉතා ජනප්‍රිය කෑමක්. පදමට ලුණු ඇඹුල් වැටුණු මාළු ඇඹුල් තියල් එක්ක කිරිබතක රස නොබැලූ කෙනෙක් ලංකාවේනම් හොයාගන්න බැරි තරම්.

 
බොහෝ රටවල් වල තියෙන පරිසරය අනුව සංස්කෘතිය වගේම ආහාරපාන රටාව ද ඒ රට රටවලට ආවේණිකව තමයි පවතින්නේ. අපේ රට හතර වටින් ම මුහුදෙන් වට වූ නිසා මත්ස්‍ය ආහාර ලංකාවේ කෑම වේලක සුලභ වෙනවා. ඔන්න ඒ නිසා අද කියලා දෙන්න යන්නේ කල් තියාගන්න පුළුවන් රසම රස මාළු ඇඹුල්තියල් හදන්නේ කොහොමද කියලා.
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
- බලයා හෝ කෙළවල්ලා මාළු 1kg 
- අඹරා ගත් ගොරකා 
- ගම්මිරිස් 
- ලුණු 
- රම්පේ 
- කරපිංචා 
- කුරුඳු, 
- සුදු ලූනු 
- එන්සහල් 
- වතුර ස්වල්පයක්
 
සාදන ආකාරය
 
- බලයා හෝ කෙළවල්ලා මාළු ගෙන කෑලිවලට කපාගන්න. 
- එය හොදින් සෝදා පැත්තකින් තබාගන්න. 
- ඉන් අනතුරුව අඹරාගත් ගොරකා සහ ගම්මිරිස් වතුර ටිකක් සමඟ මිශ්‍ර කර පල්පයක් සේ සකස් කරගන්න. 
- ඊට රම්ප, කරපිංච, කුරුඳු පොතු, එනසහල්, සුදුලූනු හා එකතු කරගන්න. 
- එසේ සාදාගත් පල්පය මාළුවල දවටා මැටි හට්ටියකට දමාගන්න. 
- ඉතිරි පල්පයද මාළු වැසෙන සේ දමා මද රස්නයේ තම්බා ගන්න. 
- වතුර හිදෙන තුරු තම්බා ගන්න. 
- එසේ වතුර හිදුණු පසු ලිපෙන් ඉවතට ගෙන හොදින් වසා තබන්න 
- මේක තමා ඇඹුල්තියල් හදන හරිම විදිය.
 
ඇඹුල් තියල් ඉතින් ගෑවුණ තැන කන්න පුළුවන්. කිරිබත් එක්ක, ආප්ප එක්ක, පොල් රොටි එක්ක, ඉඳි ආප්ප එක්ක ඇත්තටම රසයි. සුවි‍ශේෂයි. 
එහෙනම් ඔබත් මේ විදියට මාළු ඇඹුල් තියල් හදලා කෑම වේලට එක්කර ගෙන රස ගුණ බලලා අපිටත් කියන්න අමතක කරන්න එපා.
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)