22 November 2024


නීතිඥවරයෙක්ගේ නීතීඥභාවය වසර 5කට අත්හිටුවයි



කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙක් වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥවරයෙක්ගේ නීතීඥභාවය වසර 5කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියම කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුවයි.

මෙම නීතීඥවරයා අපරාධ නඩුවක විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමට රජයෙන් පත් කොට තිබියදීත් විත්තිකරු වෙනුවෙන් දින 03ක් නොකඩවා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විත්තිකරු වරදපිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම්දී ඇත්තේ මෙම විත්තිකරු නීතිඥ ආචාරධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු අදාළ චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම සහ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නීතිඥභාවය වසර 05ක කාලයක් අත්හිටුවීමට පියවර ගන්නා බව විනිසුරු මඩුල්ල දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)