22 November 2024


සරම්ප යළි ව්‍යාප්ත වීමේ අවදානමක්



වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම ඒකකය විවෘත කළ බවයි.

එය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තිබෙනවා.

එම ඒකකයෙන් ජනතාවට සරම්ප, රුබෙල්ලා ඇතුළු වසංගත රෝග පිළිබද තොරතුරු විමසීමට හැකියාව තිබෙන බවයි වාර්තා වන්නේ.

011744 65 13, 011768 2722, 011768 28 72 හෝ 0117682662 යන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසීමට හැකියාව පවතිනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ අතර එක් සරම්ප රෝගියෙක්ගෙන් පුද්ගලයන් 18 දෙනෙක්ට සරම්ප බෝවීමට ඉඩ ඇති බවයි.

සරම්ප එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන් ඇත්නම් වහාම එන්නත් ලබා ගත යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

2019දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතයත් සමඟ ලොව පුරා බොහෝ රටවල එන්නත්කරණය අඩාලවීම හේතුවෙන් ගෝලීයව සරම්ප රෝග තත්ත්වයක් ඇතිවූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

(colombotimes.lk)