22 November 2024


සතොස සේවක නඩුවකින් ජොන්ස්ටන්ව ඇප මත මුදාහැරීමට නියෝග



අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (01) අධිකරණයට  ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීමට ගොස් ඇති බවයි.
 
කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බවට  නියෝග කළා.

ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු හට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව නඩුවේ විභාගය ලබන ජනවාරි මස 27 වනදාට කල්දමා තිබෙනවා.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 03කට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කළා.

(colombotimes.lk)