22 November 2024


සරම්ප නිවාරණ සතිය ඇරඹෙයි



සරම්ප නිවාරණ සතිය අද (04) ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද සිට ලබන 9 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

අද සිට සිකුරාදා දක්වා නිවාස, සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කළා.

වෛද්‍යවරයා සඳහන් කළේ ලබන 9 වනදා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 1100ක් වාර්තා වී තිබෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කළා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කළ බවයි.
 
එය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව පවතිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ 011-7446513, 011-7682722, 011-7682872, 011-7682662 මෙම දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි බවයි.

(colombotimes.lk)