04 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. විදේශිකයන්ට අද සිට රියදුරු බලපත්‍ර කටුනායකින්


මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අදින් ආරම්භ වනවා.
 
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඒ වෙනුවෙන් විශේෂ කවුළුවක් ස්ථාපිත කර ඇති බවයි.

ඒ හරහා විදේශිකයන්ට පහසුවෙන් රියදුරු බලපත්‍ර ලබාගත හැකි බව අමාත්‍යාංශය සඳහන් කළා. 

මෙරටට පැමිණෙන විදේශිකයන්ට මෙතෙක් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කළේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් පමණයි.

ඒ සඳහා වැඩි කාලයක් සහ පිරිවැයක් වැය කිරීමට සිදුවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා. 



02. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්වල ගැටලු රැසක්

මෙරට 23,000කට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන්.  

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුවී  ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවයි. 

මෙම ස්ථන මාරු ක්‍රියාපටිපාටීන් ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මේ වන විට මතුවී ඇති බවයි. 

මේ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් 23,000කගේ පමණ ස්ථාන මාරුවීම් සම්බන්ධව ගැටලු මතුවී ඇති බවත් ශ්‍රේණි වෛද්‍යවරුන් 10,000කට අධික ප්‍රමාණයකගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වී නොමැති බවත් වෛද්‍යවරයා සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට 50%කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයක් මේ වන විට රැඳී සිටින්නේ ඔවුන්ට අදාළ රෝහල්වල නොවන බවයි.


03. බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයෙන් ඉවතට

ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
 
බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ කැබිනට් මණ්ඩල යෝජනාවක් මඟින් ඔහු ඉවත් කළ බවයි.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

ඔහු බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයට පත්වුණේ 2024 වසරේ ජනවාරි මාසයේදීයි. 

පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගෙන ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස මේ වන විට කසුන් වැල්ලහේවා පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


04. මොරටුව දිසා විනිසුරුගේ සේවය අත්හිටුවයි


මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
 
ඒ නීතිවිරෝධීව අලි පැටවෙක් ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව ඊයේ (02) තිළිණ ගමගේට ලිඛිතව දැනුම්දී තිබෙනවා. 



05. ජූලි මාසයයේදී මෙරටට පැමිණි සංචාරකයන් ගැන දැනුම්දීමක්


ජූලි මාසය තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පවසනවා. 

එම අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයන් 200,244ක් මෙරටට පැමිණ ඇති බවයි. 

මෙය  පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා. 

එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 37,128ක් පැමිණ තිබෙනවා.

එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයන් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව 2025 වසරේ ජනවාරි 01වනදා සිට ජූලි 31දක්වා සංචාරකයන් 1,368,288ක් මෙරටට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන්දියාවෙන් සංචාරකයන් 279,122ක්, රුසියාවෙන් 131,377ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 115,470ක් පැමිණි බවයි.



06. ආදායම් වාර්තා භාරදීමට අදාළ PIN අංකයේ කාල සීමාව ගැන දැනුම්දීමක්

බදු ගෙවන්නන් සඳහා නිකුත් කර ඇති පෞද්ගලිකව හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගුභාවය දීර්ඝ කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලය නොවැම්බර් 30වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.



07. ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරට්ත් දැක්වෙන්නේ උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.



(colombotimes.lk)