09 March 2025


කාන්තා දිනය - දැනගෙන සමරමු | Colombo Times BLOG



කාන්තා දිනය යනු කාන්තාවන්ගේ ඓතිහාසික, සංස්කෘතික සහ දේශපාලනික ජයග්‍රහණ මෙන්ම සමාජීය ක්ෂේත්‍ර තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා වන අරගලයේදී ඔවුන් කෙතරම් දුරට පැමිණ තිබේද යන්න සමරනු ලබන ගෝලීයව පිළිගත් දිනයකි.

ලොව පුරා ස්ත්‍රී පුරුෂ අසමානතාවයට එරෙහිව පියවර ගැනීමට සහාය දැක්වීම සඳහා ද මෙම දිනය සමරනු ලබනවා.

මෙම ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වන දින සමරන අතර ශ්‍රී ලංකාවේ මෙවර කාන්තා දිනයේ තේමාව වුණේ 'තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්' යන්නයි. 2025 වසරේ ලෝකයේ කාන්තා දින තේමාව වී තිබෙන්නේ 'සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයන් සඳහා අයිතිවාසිකම්, සමානාත්මතාවය බලගැන්වීම' යන්නයි.

එමෙන්ම කාන්තාවන් කොතරම් වටිනවාද යන්න පෙන්වීමට විශාල හා කුඩා සංවිධාන අද වන විට එක් වී තිබෙනවා.

ජාත්‍යන්තර කාන්තා දින ඉතිහාසය ගත් විට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් දක්වාම වර්ධනය වී තිබෙනවා. මෙම දිනය කම්කරු ව්‍යාපාරය හරහා වර්ධනය වූවක්.

1908 වසරේදී කාන්තාවන් වැඩකරන පැය ගණන අඩු කරන ලෙසත්, කාන්තාවන්ට හොඳ වැටුපක් ඉල්ලීමත්, ඔවුන්ට ඡන්ද අයිතිය ලබා දෙනමෙන් ඉල්ලීම් සඳහා කාන්තාවන් 15,000ක් නිව්යෝර්ක් නුවරදී  එක්ව කරන ලද පාගමනක ප්‍රතිඵලයක් වශයෙන් ඊට වසරකට පසුව ජාත්‍යන්තර කාන්තා දිනයේ මූලාරම්භය සිදු වුණා.

පළමුවරට ඇමරිකාවේ සමාජවාදී පක්ෂය කාන්තා දිනය ප්‍රකාශයට පත් කළා. මේ අදහස ඉදිරිපත් කළේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වන ක්ලාරා සෙට්කින් නම් කාන්තාවයි. එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා.



1911 වසරේදී කාන්තා දිනය පළමු වරට සමරන ලද්දේ ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විස්ටර්ලන්තයයි. එමෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනයේ සියවස් සැමරුම 2011 වසරේදී සිදු වුණා. නමුත් මෙම කාන්තා දිනය 1913 දක්වාම පෙබරවාරි මාසයේ අවසාන ඉරිදා පැවැත්වුණා. නිශ්චිතවම මාර්තු 08 වන දින සිට සැමරීම ආරම්භ වූයේ 1914 වසරේ සිටයි. ජාත්‍යන්තර කාන්තා දිනය නිලවශයෙන් ප්‍රකාශයට පත් වුණේ 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුවයි.

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08වනදාට යොදා ගැනීමට හේතුව ලෙස 1917 රුසියානු කාන්තාවන් ' පාන් සහ සාමය ' ඉල්ලමින් නිරත වුණු වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමි වීම දක්වන්න පුළුවන්.

එමෙන්ම එවකට රුසියාවේ භාවිතා කළ ජුලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වුණේ පෙබරවාරි 23 ඉරිදා දිනයි. ග්‍රේගරියානු දින දර්ශනයට අනුව එම දිනය සඳහන් වූයේ මාර්තු 08 වනදායි.

කාන්තා දිනය සමරන්නේ කෙසේද?

ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ආකාරය ගත් විට මෙම දිනය රුසියාව ඇතුළු බොහෝ රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා. මාර්තු 08 වන දිනට පෙර දිනයන් හිදී බොහෝ රටවල මල් අලෙවිය පවා දෙගුණ තෙගුණ වන බව සඳහන් වනවා. ඒ අතරින් ඉතාලියේ මිමොසා මල් තිලිණ කිරීමත්, චීනයේ රාජ්‍ය කවුන්සලයේ උපදෙස් පරිදි මාර්තු 08 වනදා දින භාගයක නිවාඩු  ලැබෙනවා.

මේ ආකාරයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන අතර මෙම දිනයේදී කාන්තාවන් වෙනුවෙන් ලොව පුරා විවිධ වැඩසටහන් සහ උත්සව සංවිධානය කරනු ලබනවා.

(colombotimes.lk)