16 July 2025

logo

2026 සඳහා පූර්ව අයවැය සාකච්ඡා ඇරඹෙයි



2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ පවත්වා තිබෙනවා. 

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. 

එහිදී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

එමෙන්ම මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ වියදම් සීමා තුළ ඒ ඒ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට මේ මස 31වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා. 

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාවදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහනය බල ගැන්වීම, ග්‍රාමීය ප්‍රජාව ආර්ථිකයට දායක කර ගැනීම ආදී කරුණු මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

එමෙන්ම ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද පිළිබඳව විමසා බලා ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)