17 July 2025

logo

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ සහාය



TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අතර හමුවක් ඊයේ (16) පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. 

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබෙනවා. 
 
ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ TikTok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී TikTok නියෝජිතයන් පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගීතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඩිජිටල්කරණ ක්‍රියාවලිය  කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. 
 
මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය  සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී Ferdous Al Mottakin, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)