මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන තිබෙනවා.
මාතර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙදෙනෙක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරසක් ඊයේ රාත්‍රී 8ට පමණ බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඇතිවූ තත්ත්වය සමඟ බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටිවල බන්ධනාගාර නිලධාරීන්ට ගල් - මුල්වලින් පහරදීමට රැඳවියන් කටයුතු කිරීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩිතබා තිබෙනවා.
මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට සඳහන් කළේ මෙම කලහකාරී තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එමෙන්ම බන්ධනාගාරය තුළ සිටි කාන්තා රැඳවියන් 25දෙනෙක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට ද බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට රැඳවියන් 250කට අධික සංඛ්‍යාවක් මාරුකර යවා ඇති බවයි.
(colombotimes.lk)