23 April 2025


පාප්වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට



මහජන ගෞරවය සඳහා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය අද (23) සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කර තිබෙන බව වතිකානය නිවේදනය කළා.

ඒ මෙරට වේලාවෙන් දහවල් 12.30ට පමණ බවයි වාර්තා වන්නේ.

මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සාමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට ලොවපුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටින අතර පාප්වහන්සේගේ දේහය අප්‍රේල් 26වන සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට  මිහිදන් කිරීමට නියමිතයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප්  වතිකාන නගරයට පැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර ඇති අතර යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිතයි.

එමෙන්ම අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයන් සහ ආගමික නායකයන් විශාල ගණනක් සහභාගී වනු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

(colombotimes.lk)