colombotimes.lk
සිංහල | English

14 October 2024


ගංවතුර පාලනයට තිරසාර විසඳුමක් අවශ්‍ය බව ජනපති කියයි



අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්‍යාංශ නිලධාරීන්ට අද (14) උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැපයීමෙන් පසුව දේපළ හානි පූර්ණය කරන ලෙසත් සහන ලබාදීම සඳහා වෙන් කළ රුපියල්  මිලියන 50ට අමතරව මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසාර වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.

මෙම වසරේදී මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයේදී දේපළ හානි පූර්ණ නොවූ ජනතාවගේ ගැටළු පිළිබඳවද සොයා බලා ඊට අදාළ වන්දි ලබාදීම් සිදුකරන ලසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

(colombotimes.lk)