colombotimes.lk
සිංහල | English

21 October 2024


ප්‍රතික්ෂේප වූ නාම යෝජනා පත්‍රයේ පෙත්සම සළකා බැලීම හෙට



ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීමට හෙට දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම අද (21) ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදකවන කරුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම හෙට (22) සලකා බැලීම සඳහා කැඳවීමටද නියම වූ බවයි වාර්තා වන්නේ.

මෙම පෙත්සම අදාළ පක්ෂයේ බලයලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයන්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)