27 December 2024


වාර්ෂික පොලිස් ස්ථාන මාරුව මාස 06කට කල්යයි



2025 වර්ෂයට අදාළව පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මාස හයකට අත්හිටුවා තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2025 වසරේ ජනවාරි පළමු වනදාට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය ලබන වසරේ ජුනි මස 30 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය හේතූන් මත එදිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරීන් සිටීනම් ඒ පිළිබඳව වාර්තාවක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සකස් කර නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමු කිරීමටයි.

වෙනත් රාජකාරී අවශ්‍යතා මත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝගය බාධාවක් නොවන බවද ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)