12 May 2025


ඒකදන්තගේ මාදුරුඔය ගමන තාවකාලිකව නවතී



ගල්ගමුවේ ''ඒකදන්ත'' හස්තියා මාදුරුඔයට රැගෙන යාමට ගත් තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඒ මෙම සත්ත්වයා මාදුරුඔයට රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ විරෝධය එල්ල වී ඇති පසුබිමකයි.
 
ගල්ගමුවේ සැරිසරන ''ඒකදන්ත'' නොහොත් චණ්ඩි නම් හස්තියා මාදුරුඔයට ගෙන යාම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ හස්තියාගෙන් ප්‍රදේශවාසීන්ට පීඩාවන බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්. 
 
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථා 3කදීත් අල්ලා වෙනත් ස්ථානවලට යොමු කර තිබුණත් හස්තියා යළි ගල්ගමුවට පැමිණි බවයි. 
 
වයෝවෘද්ධ සහ අන්ධ තත්ත්වයේ පසුවන මෙම සත්ත්වයා ගල්ගමුවෙන් මාදුරුඔයට රැගෙනයාම අවදානම් බව ඔවුන් පෙන්වාදෙනවා. 
 
ඒ පිළිබඳ කරුණු පෙන්වා දෙමින් පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.
(colombotimes.lk)