පාර්ලිමේන්තුව ලබන මැයි 8වනදා සහ 9වනදා රැස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.
ඒ අනුව මැයි 8වනදා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
එමෙන්ම පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා සහ පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) 'අ' උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තුව නිවේදනය කළේ මැයි 9වනදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 6ක් විවාද කිරීම සඳහා කාලය වෙන්කර ඇති බවයි.
(colombotimes.lk)