colombotimes.lk
සිංහල | English

19 May 2024

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලබයි



2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී විශ්මි ගුණරත්න ලකුණු 45ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24ක් සහ චමරි අතපත්තු ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 134ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමි වූ අතර පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.
(colombotimes.lk)