12 May 2025


අධිවේගී මාර්ගයේ වැටලීමකින් ලංගම ප්‍රවේශපත්‍ර වංචාවක් හෙළිවේ



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ ගාල්ල අතර ධාවනය වන ලංගම බස් රථයක කොන්දොස්තරවරුන් යොදවා ප්‍රවේශපත්‍ර වංචා කිරීමේ ක්‍රමයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා. 

කොන්දොස්තරවරුන් දෙදෙනෙකු විසින් මගීන් 51 දෙනෙකුට ව්‍යාජ ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවයි එම මෙහෙයුමේදී අනාවරණය වී ඇත්තේ. 
 
මෙම සොයා ගැනීමත් සමඟ බස් රථයේ කොන්දොස්තරවරුන් දෙදෙනා සහ රියදුරු වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 
 
පසුව ඔවුන් කඩවත පොලිසියට භාරදී ඇති අතර, මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද (අගෝස්තු 07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කඩවත පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. 
 
කඩවත සහ ගාල්ල අතර ගමනක් සඳහා ගාස්තුව රුපියල් එක් පුද්ගලයෙකුට රුපියල් 950 බැගින් වූ මුළු වංචාව රුපියල් 48,450ක් ලෙස වාර්තා වනවා. 
 
ගාල්ලේ සිට කඩවත බලා ධාවනය වූ බස් රථය, කඩවත සිට ගාල්ල බලා ආපසු පැමිණීමට සූදානම්ව තිබියදී ලංගම වැටලීම් අංශය ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී මෙම වංචාකාරී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනාවරණය වී තිබුණා. 
 
සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කළා. 
(colombotimes.lk)