colombotimes.lk
සිංහල | English

13 May 2024

දෛනිකව රෝහල්වල ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්



දෛනිකව ඩෙංගු රෝගීන් 1,000ක් පමණ රජයේ රෝහල්වල මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා. 

මෙම සංඛ්‍යාව තවත් වර්ධනය වුවහොත් රෝහල්වලට දරාගැනීමට නොහැකි විය හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ. 
 
ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර මදුරුවන් බෝ විය හැකි ස්ථානයන් වෙතොත් ඒවා විනාශ කිරීමට වහාම පියවර ගත යුතු බව ද ඒ මහතා පැවසුවා. 
 
රෝහල්වලට දරා ගත නොහැකි ලෙස රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වුවහොත් එය මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතුවක් විය හැකි බව ද ඒ මහතා සඳහන් කළා. 
 
මෙම වසරේ මේ වන විට ඩෙංගු රෝගීන් 83,432ක් වාර්තා වී ඇති අතර ඉදිරි දිනවල දී මෙම සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවිය හැකි බවයි ප්‍රකාශ කළේ. 
 
ඩෙංගු රෝගීන්ගෙන් 49ක් මේ වන විට මරණයට පත්ව ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාව වයස අවුරුදු 25ත් 49ත් අතර වයස් කාණ්ඩයට අයත් වූවන් බව ද වාර්තා වනවා. 
 
දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් වේදනාව සමනය කිරීම සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකළ යුතු බවත් ඒ මහතා පැවසුවා.
(colombotimes.lk)