23 April 2025


කොළඹ වරායට අමුත්තෙක්



කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන 'Kang Gam Chan' නෞකාව නිල සංචාරයක නිරත වෙමින් ඊයේ (22) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාවේ පැවති මෙම උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියන් ලී ද සහභාගී වී තිබෙනවා.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟ නෞකාව නැරඹීමටද එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරීත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත් එය නාවික සහයෝගීතාවයේ ශක්තිය පමණක් නොව සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු දැක්ම ද පිළිබිඹු කරන බවත් සඳහන් කළා.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ භාෂා ප්‍රවීණතාවයන් වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ජනරජය විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඔහු මෙම අවස්ථාවේදී අගය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන දිගුකාලීන සබඳතා අගය කරන බවත් සහයෝගීතාව සහ ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කොරියානු තානාපතිනිය එහිදී සඳහන් කළා.

කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් කොළඹට

(colombotimes.lk)