02 April 2025


කඩා වැටුණු ජෙට් යානය ගැන විමර්ෂණයක්



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ෂණයට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සඳහන් කළේ පුද්ගලයන් 7දෙනෙක්ගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් මේ සඳහා පත්කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනුයුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවීම් සඳහා යොදාගනු ලබන K - 8 වර්ගයේ ගුවන් යානයක් අද (21) පෙරවරුවේ පුහුණුවීමක් අතරතුර වාරියපොළ පාදෙණිය ප්‍රදේශයේ දී හදිසි අනතුරකට ලක්වුණා.

කෙසේ නමුත් එම යානයේ සිටි ගුවන් නියමු නිළධාරීන් දෙදෙනා ගුවන්යානයෙන් ආරක්ෂිතව ඉවත්වී කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුට් ආධාරයෙන් ගොඩබස්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරීවරයා ගමන් කර තිබෙනවා.

එම නිළධාරීන් මේ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන්යානය ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරෙන් පෙරවරු 7.27ට පමණ ගුවන්ගත වී ඇති බවත් පෙරවරු 7.55ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.


(colombotimes.lk)