25 June 2025

logo

අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි වෙයි



වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 -18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම 2025‑07‑01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි කිරීමට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. 

ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති බව තමාගේ මව හෝ පියා සමඟ එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස 'වීදි දරුවෙක්' බවට පත් වී දෙමාපියන් නොවන අයෙක් සමඟ පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අළෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

ඔහු සඳහන් කළේ ඉහත සදහන් කළ ආකාරයේ අනතුරුදායක රැකියාව වල ළමුන් යෙදවීමට එරෙහිව අදාළ බලධාරීන් මඟින් නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළක් මඟින් මහජනතාව දැනුම්වත් කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවයි. 

(colombotimes.lk)