25 March 2025


සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්



සාමාන්‍ය පෙළ විද්‍යාව විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවතක් සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්‌තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවයි.

අදාළ ව්‍යාජ නිවේදනයට අනුව මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇති අතර ඊට පිළියමක් ලෙස විද්‍යාව විෂය සඳහා මුහුණදුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමි වන බවත් ඒ ඒ සාමාථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින් අඩු කර තිබෙන බවද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම සිසුවෙක්ටම හිමි බව සඳහන් කර තිබෙනවා.

එවැනි කිසිදු තීන්දුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්‌තමේන්තුව විසින් ගෙන නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


 
(colombotimes.lk)