19 July 2025

logo

කෙහෙළියට එරෙහි නඩුවකට අධිකරණයෙන් නියෝගයක්



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 28වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ එම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුව මීට පෙර වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙක් ඉදිරියේ විභාගයට ගෙන තිබුණු බැවින් එම සාක්ෂි මතම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු එකඟ වී තිබෙනවා.

ඒ අනුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් 28වනදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි. 

2014 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී  ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැය කිරීම තුළින් 'දූෂණය' නැමති වරද සිදු කළ බවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.


(colombotimes.lk)