වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මාතලේ ප්‍රදේශයේ වත්තක නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුකරයේ රත්වත්තේ වතුයායේ දිළිඳු පවුලකට වතු සහකාර කළමනාකාරවරයා විසින් සිදු කරනු ලබන අකටයුතුකම් පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය තොණ්ඩමන් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.
රජයට අයත් වතුයායේ සහකාර කළමනාකරු තම නිවස බලහත්කාරයෙන් කඩා දමමින් දිළිඳු පවුලට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන හුවමාරු කර තිබුණේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් විසින්.
එම වීඩියෝව හුවමාරු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ තමන් මේ සම්බන්ධයෙන් වතුකරයේ අමාත්‍යවරයා දැනුවත් කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් වතු සහකාර කළමනාකාරවරයා සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා සිටින බවයි.
ඊයේ එම වතුයායේ සංචාරයක නිරත වෙමින් සිටි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ වතු නිලධාරියෙකු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී උණුසුම් වචන හුවමාරුවක නිරත වූ අතර එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වුණා.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය තොණ්ඩමන් කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුකරයේ රත්වත්තේ වත්තට සහකාර කළමනාකරුවෙකු විසින් දිළිඳු පවුලකට හිරිහැර කරන ආකාරය පිළිබඳ දුක්ඛිත වීඩියෝවක් අනාවරණය වීමත් සමඟ තමන් ඊයේ එහි ගිය බවයි.
(colombotimes.lk)