අනතුරකදී වාහන රක්ෂණ වන්දි ලබා දීමට රජයෙන් නව පියවරක්



මාර්ග අනතුරුවලින් විපතට පත් වූවන්ට අධිකරණයට නොගොස් වන්දි ලබාගැනීමට හැකි නීතිමය රාමුවක් මාසයක් ඇතුළත හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. 

රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි දැනටමත් සකස් කර ඇති බවයි. 
 
මෙම නව ක්‍රමය හරහා රිය අනතුරට සම්බන්ධ පාර්ශ්වයට අධිකරණයට නොගොස් රුපියල් ලක්ෂ පහක් දක්වා වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති. 
 
අනතුරේ ස්වභාවය අනුව රුපියල් 500,000 වින්දිතයින්ට ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී උසාවියට ගොස් ප්‍රමාණවත් වන්දියක් ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඔහු පැවසුවා. 
 
ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 
 
රිය අනතුරුවලට ලක්වන පුද්ගලයන්ට රක්ෂණ ආයතන හරහා වන්දි ලබාගැනීමට අපහසු වූ විට විපතට පත් පාර්ශ්වයන්ට සහන සැලසීමේ අරමුණින් මෙම ක්‍රමය හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)