සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් (CPSTL) රසායනාගාරය මගින් නියමිත තත්ත්ව ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වී ඇති, ප්‍රමිතියෙන් බාල ඩීසල් තොගයක් කොලොන්නාව පිරිපහදුවේ ගොඩබෑමට අවසර ලබා දී ඇති බව වෘත්තීය සමිති පවසනවා.
සමගි ජනබලවේගය (SJB) අනුබද්ධ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලකායේ (SUTUF) කැඳවුම්කරු සහ ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ CPSTL රසායනාගාරයට පරීක්ෂා කිරීම සඳහා යවන ලද ඉන්ධන සාම්පල දෙකම නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි.
නොවැම්බර් 5 වැනිදා පැමිණි ‘MT-FOS POWER’ නෞකාවෙන් LIOC සමාගම ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් චීන වරායට ද තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 11,000ක් කොළොන්නාව පිරිපහදුව වෙත ගෙන ආ බවද ඔහු පැවසුවා.
CPSTL රසායනාගාර සහකාර කළමණාකරු සහ LIOC හි නියෝජිතයෙකු පරීක්ෂා කිරීම සඳහා නෞකාවට ගිය සංචාරයේදී ඩීසල් තොගය හොඳ තත්ත්වයේ නොමැති බව අනාවරණය වුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉහළ කළමනාකාරීත්වයේ තීරණය අනුව තොග ගොඩබෑමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ.
මේ අතර ප්‍රමිතියෙන් තොර මෙට්‍රික් ටොන් 40,000ක බාල ඩීසල් තොගයක් වෙළෙඳපොළට නිකුත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
ඩීසල් තොගයේ සාම්පලවල LIOC රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් එය බාල තත්ත්වයේ පවතින බව අනාවරණය වී තිබෙන බවයි ඔහු පැවසුවේ.
කෙසේ වෙතත්, අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම ගැන තීරණය කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)