18 March 2025


අමාත්‍ය විජේපාලගේ මන්ත්‍රී ධූරයට එරෙහි පෙත්සමේ මූලික විරෝධතා ගැන නියෝගය මැයි මාසයේදී



මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි 05වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.

ඒ එම පෙත්සම අද (18) අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මෙම සිද්ධියට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ට විනිසුරු මඩුල්ල විසින් සතියක කාලයක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සම්කරු කියා සිටියේ අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරමින් එවැනි රාජ්‍ය තනතුරක් දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසුකමක් බවත් පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)