20 April 2025


රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්



මැයි මස 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස මට්ටමින් ඡන්ද විමසීම පවත්වා කොට්ඨාසය තුළම ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සඳහා රාජ්‍ය සේවකයන් වැඩි සංඛ්‍යාවක් සහ රාජ්‍ය සම්පත් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීම් කටයුතු සඳහා යෙදවීමට සිදු වන බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ, 104 ඊ (1), (2), 104(උ) සහ 104 උඋ ව්‍යවස්ථාවල දැක්වෙන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඡන්ද විමසීම් රාජකාරී සඳහා තම ආයතනවල සියලුම නිලධාරීන්ගේ නිලධාරී සංගණන දත්ත පත්‍රිකා හා වාහන පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, කොමිෂන් සභා ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, ආණ්ඩුකාර ලේකම්වරු ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරු සහ සියලුම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් ආයතන වෙතින් නිලධාරීන් හා වාහන පිළිබඳ විස්තර මේ දක්වා අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ස්වකීය ආයතනයේ නිලධාරී දත්තපත්‍ර ලබා නොදුන් නිලධාරීන්ගේ විස්තර හා වාහන පිළිබඳ විස්තර අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත වහාම ලබා දෙන ලෙස ආයතන ප්‍රධානීන් වෙත දැනුම්දී තිබෙනවා.

ස්වකීය ආයතනවල නිලධාරීන්, වාහන ඇතුළු රාජ්‍ය සම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමේ කටයුතු සඳහා ලබාදීම සහ ඒ වෙනුවෙන් සහය දැක්වීම සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවද මැතිවරණ කොමිසම සඳහන් කළා.



(colombotimes.lk)