පාස්කු ඉරිදා දිනය කිතුණු බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී දිනයක් වනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමේ දුක්ප්‍රාප්තිය සිහි ගන්වමින් කිතුණු බැතිමතුන් මහ සිකුරාදා දිනය සමරනු ලබන අතර එම දිනයෙන් පසු එළඹෙන ඉරිදා ජේසුස් වහන්සේගේ උත්ථානය එසේත් නැතිනම් මරණයෙන් යළි නැගිටීම සමරනු ලබනවා.
පාස්කු සැමරුම මඟින් පාපයට මැරී නව ජීවනයකට උත්ථාන වීම සමරනු ලබනවා. පුරාණ ගිවිසුමේ ඊශ්‍රායල් ජනයා පාස්කුව සමරනු ලැබුවේ බැටළුවෙක් පූජා කිරීමෙනි. එනම් පුරාණ ගිවිසුමේ ඊශ්‍රායල් ජනයා බැටළුවෙක් මරා බැටළු මස් පූජාසනය යට තබා එයට ආශිර්වාද කර පසුව පාස්කු ඉරිදා එය අනුභව කළ බව ශුද්ධ බයිබලයේ සඳහන් වනවා.
එමෙන්ම 12වන සියවසේ සිට ලෙන්ටන් උපවාසය පාස්කු දිනයේ දී අවසන් වී ඇත්තේ බිත්තර, හැම්, චීස්, පාන් සහ රසකැවිලි ද සමඟින්. නමුත් වර්තමානයේදී පාස්කු ඉරිදා දිනය සැමරීමට එම චාරිත්‍ර වාරිත්‍ර සිදු නොකරන අතර කිතුණු බැතිමතුන් දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනිමින් මෙම දිනය සමරනු ලබනවා.
නමුත් ලාංකේය ජනතාවගේ සිත්වල අමිහිරි මතකයක් එක් කරමින් එක් පාස්කු ඉරිදාවක කිසිවෙක් නොසිතූ පරිදි කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන රැසකට බෝම්බ ප්‍රහාරයන් කිහිපයක් එල්ල වුණා.
ඒ මීට වසර 06කට පෙර, එනම් 2019. 04. 21 පාස්කු ඉරිදා දිනයේයි. එදා කවුරුත් හිතන්න නැතුව ඇති මේ දවස කිසිදාක අමතක නොවන අඳුරු දිනයක් බවට වෙයි කියලා. එදින සෑම ක්‍රිස්තියානි දේවස්ථානයකම පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වුණා.
කොච්චිකඩේ ශා. අන්තෝනි දේවස්ථානය, මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානයේත් වෙනදා මෙන් පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වුණා.
නමුත් එදා ඒ දේවස්ථානවලට ගිය කිසිවෙක් හිතුවේ නැතුව ඇති අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනය අඳුරු මතක ගොන්නක් සැඟවුණු දිනයක් බවට පත් වෙයි කියලා.
ඒ වගේම කොළඹ පිහිටි ෂැංග්‍රි-ලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කිංග්ස්බරි හෝටලය සහ ද ට්‍රොපිකල් ඉන් හෝටලයේ ද නිවාඩු දිනය පවුලේ අය සමඟ සතුටින් ගත කරන්න බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. එදා එහෙම සතුටින් හිටිය කවුරුත් හිතන්න නැතුව ඇති අද දවස අඳුරෙන් පිරි දවසක් බවට පත් වෙයි කියලා.
2019.04.21 පෙරවරු 8.25ට කොච්චිකඩේ ශා. අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වනවා. ඒ සමඟම පෙරවරු 8:45ට මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානයේ සහ පෙරවරු 9:05ට මඩකලපුව සියොන් දේවස්ථානයෙත් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු වෙනවා.
ඒ වගේම තමයි පෙරවරු 9.15 - 9.20 කාලය ඇතුළත ෂැංග්‍රි-ලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ ද කිංග්ස්බරි හෝටලය කියන තරු පන්තියේ හොටල්වලටත් මෙම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. එතනින් නොනැවතුණු ත්‍රස්තවාදීන් පස්වරු 2.00ට දෙහිවල ද ට්‍රොපිකල් ඉන් හෝටලයට සහ පස්වරු 2.15ට දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් බෝම්බකරුවන් 8දෙනා සහ විදේශිකයන් ඇතුළුව පුද්ගලයන් 269කට වැඩි පිරිසකගේ ජීවිත සුනු විසුණු කර දැමුවා. ඒ වගේම 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. වසර 06ක් ගත වුණත් මේ ප්‍රහාරයේ බලපෑම් හේතුවෙන් අදටත් බොහොමයක් ජීවිත දෙලොවක් අතර තනි වී අවසන්.
එදා වහපු ගෙවල්වල ගේට්ටු අදටත් එලෙසම පවතිනවා. කිසිවෙක් නොසිතූ අයුරින් සිදු කළ මෙම ප්‍රහාරය නිසා දරුවන්ට තම දෙමව්පියන් අහිමි වුණා. දෙමව්පියන්ට තම දරුවන් අහිමි වුණා.
මෙවන් විපතක් යළි කිසිම දිනක අසන්නට, දකින්නට නොලැබේවා!
මිය ගිය සෑම ආත්මයක්ම සමාදානයේ සැතපේවා!
මෙවර පාස්කු මංගල්‍යය වෙනුවෙන් Colombo Times අපේ පැතුම ඔබ සැමට උත්ථාන වූ ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය පිරුණු සුබ පාස්කු මංගල්‍යයක් වේවා යන්නයි.
(colombotimes.lk)