26 December 2024


කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීමක්



කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව මේ වන විට රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 10000කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනූව මෙම ප්‍රමාණය අද (27) දහවල් කාලයේදී තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බවයි.
 
ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඉදිරි පැය 48ක කාලය තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)